මෙහේ ආච්චි අම්මලා...



මට අද හිතුනා මෙහේ ඉන්න වයසක උදවිය ගැන ලියන්න. මෙහේ උන්දැලත් අපේ රටේ වයසක ඇත්තෝ වගේමයි..ඒත් මෙහේ ඇත්තෝ සුදු නිසා, අමුතු පිං පාටක් තියෙනවා.. ඒත්, වයසට ගියාම ලෝකේ කොහේ හිටියත් එකම නොවැ.. ගොඩාක් වෙලාවට හදිසි අනතුරකින් මැරුනේ නැත්නම් මෙහේ අය සෙන්චරියක්ම ගහනවා..

ගොඩාක් නාකි ජෝඩු උනත් හරිම ආදරෙන් ඉන්නවා.. එකිනෙකාට උදව් කර ගන්නවා.. දෙන්නාගෙන් එක් කෙනෙකුට ඇවිදින්න අමාරු නම් අනිත් එක්කෙනා අල්ලාගෙන ඇවිදින්න එක්කගෙන යනවා.. ගොඩාක් වයසක උදවිය අත් අල්ලං හිනා වෙවි, කතා කරකර, ඇවිදිනවා දැක්කම මට ඒ මිනිස්සුන්ගේ තියෙන ආදරේ ගැන පුදුම හිතෙනවා.. සමහරු Wheel chair එක තල්ලු කරන් යනවා..

මෙහේ ගොඩාක්ම මිනිස්සු ආදරේ කරන්නේ ඇත්තටමයි.. තමුන්ට එපා කෙනෙක් එක්ක ගහ බැණගෙන රන්ඩු වෙවී, අපේ රටේ වගේ ලෝකෙට පේන්න හිනා වෙවී, මෙහේ උන්දැලා දීග කන්නේ නෑ.. තමුන්ට එකට ඉන්න බෑ කියලා හිතුනොත් වෙන් වෙනවා.. වෙන් වෙලා, අපේ රටේ උන් වගේ හූල්ලා හූල්ලා, අනිත් එකාට හෙණ හත වැදියන් කියලා, පොල් ගහ ගහ ඉන්නෙත් නෑ.. ඉක්මනට තව කවුරු හරි හොයා ගන්නවා. තමුන්ට හරියන කෙනාත් එක්ක ජීවිත කාලෙම ආදරෙන් එකට ඉන්නවා... මැරෙණකල්ම එකට නිදා ගන්නවා.. ඉස්සර වගේම දුක සැප බෙදා ගන්නවා..

ඒකට අපේ රටේ, බොහෝමයක් අම්මලා තාත්තලා ළමයි ලොකු වෙනවාත් එක්කම වගේ, ගොඩාක්ම දුරස් වෙනවා නොවැ.. සමහර විට හිත් වල ආදරේ ඇති.. ඒත් ඉතිං කියන්නේ නැතුව අනිත් කෙනා තාමත් ආදරේද කියලා දැන ගන්නේ කොහොමද? එක අතකින් අපේ රටේ ගෑනු වහලියෝ වගේ, ගෙදර දොරේ ඔක්කොම වැඩ කරලා, ඒ ගමන් රස්සාවත් කරගෙන , ළමයින්ගේ අඩු පාඩුත් බලාගෙන , මිනිහාගේ ආව තේව වැඩත් ඔක්කොම කරලා, හැම දේම තනියම කර ගන්න එපැයි... ඔෆිස් ඇරිලා ගෙදර ආපු වෙලාවේ ඉදන් , කකුල් දෙක හොලවා හොලවා ආතල් එකේ, Tv බල බල, හැම දේම අතට පයට කරවා ගන්න මිනිහෙක් එක්ක ඉන්න ගෑනියෙක් , ඒ මිනිහා වයසට ගිහින් අමාරු කම් කියනකොට , නොසලකා හිටියත් පුදුම වෙන්න දෙයක් නෑ... මොකද ඒ මිනිහට පුළුවන් කාලේවත් ගෑනිට උදව් නොකරපු නිසා.. අපේ රටේ ගොඩාක් මිනිස්සු සහයෝගෙන් කොරන්න දන්නේ Sex විතරක් නොවැ... හික් හික්...

දැන් මට කතාවෙ අග මුල මතක නෑ... කිය කිය හිටියේ ආච්චි අම්මලා ගැන නොවැ.. මේ මම මෙහේ දන්න අදුණන අවුරුදු 95ක ආත්තම්මා කෙනෙක්.. මේ Grand ma දෙවෙනි ලෝක යුද්ධෙන් වැන්දඹු වුනු කෙනෙක්.. මහත්තයා මැරෙන කොට තරුණ දෙදරු මවක්... Grand maගේ කල දසාව හොදටම නරකයි.. එයාගේ දුවට දවස් 7න් අල්ලපු ගෙදර ගෑනු කෙනා අතින් බිම වැටිලා.. ඒ දුවට තනියම කිසිම දෙයක් කර ගන්න බෑ.. ඔක්කොම අතට පයට දෙන්න ඕනේ... එයා හාන්සි වෙලා, උඩුබැලි අතට ඔහේ ඉන්නවා.. සිහි කල්පනාවක් නැතුව.. මහත, එයාව maintain කරන එක ලේසී දෙයක් නෙමෙයි..

Grand maගේ ලොකුම ප්‍රාර්ථනය වෙලා තිබිලා තියෙන්නේ, කවදා හරි එයාට කලින් මේ දුවව නැතිවෙන්න ඕනේ කියලයි.. මොකද එයාගෙන් පස්සේ මෙයාව මේ විදියට බලාගන්න කෙනෙක් නැති නිසා.. කොහොම හරි අවුරුදු හැට ගානක් ආයු වලදලා ගිය අවුරුද්දේ ඒ දුව මැරුනා... දැන් Grand ma නිදහස්.. වයස උනාට හරිම පිරිසිදුයි.. කන් ඇහෙන්නේ නැති නිසා, Ear phone එකක් දාලා ඉන්නේ.. තාමත් හොද හොද කෑම වට්ටෝරු බලන් කෑම ජාති හදනවා.. කේක් ජාති, පුඩිං ජාති එහෙමත්.. රටේ ලෝකේ දේවල් ගැන හොද හෙවිල්ලෙන් ඉන්නේ.. රේඩියෝ එකත් මහා සද්දෙට දාගෙන පොර වැඩ.. පල්ලි එහෙමත් යනවා..

පින්තූරේ බැලුවම ඔයාලාට හිතෙයි මෙයා ඇයි මේ ඔරලෝසු 2ක් බැදලා කියලා.. ඒ එකක් ඔරලෝසුවක්. අනිත් එක තියෙන්නේ ආරක්ෂාවට.. හදිස්සියේ වත් වැටුනොත්, ලෙඩ උනොත්, මේක එබුවම හරි. එතකොට, ටෙලිකොම් එකින් තමුන්ට දන්වන්න තියෙන කට්ටියට දන්වනවා, හදිස්සියක් කියලා.. ඒකට පොඩි ගානක් හැම මාසෙකම ටෙලිකොම් එකට ගෙවන්න ඕනේ.. ඒක නම් හරිම ෂෝක් නේ..... ඒත් ඉතිං කරදරයක් උනාම මේ මනුස්සයට ඕවා ඔබන්න කල්පනාවක් තියේවියැ නේද???

23 comments:

Kelum said...

ඒ safety watch එක මරුනේ.. අපේ රටේ තාම නැත්තේ මොකෝ දන්නේ නෑ...

Dappi Sira said...

අනේ වාසනාවන්.

කාටවත් බරක් නොවී,ඒ වගේම කාගෙවත් අත්පල්ලෙන් නොවෑටි ජීවත් වෙන ඒක කොච්චර දෙයක් ද?

අත්පල්ලෙන් නොවෑටි = without depending, or becoming a burden to others

Chrishi said...

බටහිරට බැන බැන ඉන්න කට්ටියට නියම කනේ පාර !!

LishWish said...

ඔය හිතේ හියෙන නිදහස් ගතිය අපිට උරුමක්කාර වෙලා නැත්තේ අපි ගොඩාක් ම මේ පවුල් කුටුම්බිය පිහිටුවෙලා ඉන්න නිසා කියලත් හිතෙනවා. මොකද.., මෙහෙ නම් විකලාංග උනේ නැතත්, සමහර දරුවන්ට කසාදෙන් පස්සේනුත් අම්මලා බලනවා නෙව. මා හිතන්නේ ඔහේ නං ඒ කරදර නැතුවා වෙන්ටෑ.

කුමක් නමුත් අර කිව්වා වගේ safety watch එක නම් වටිනවා. හැබැයි ඔය උපාංගය මෙහේට ඒ තරම් උචිත නොවෙයි කියලා හිතෙන්නේ.., මවුවත් කම නිසා ඔය අතේ බැඳ ඉන්න උපාංගය ගලවලා ගහේ තියලා [ උකස් කරලා] ඒ සල්ලි වලින් දරුවන් ට කන්න අන්දින්න දෙන අම්මලා ඉන්න රටක් නිසා...!

NUWAN"s lane said...

ඈත්තටම නියම ලිපියක් මචන්.උබ එහෙ විස්තර ඔහොම කියන එක මොන තරම් දෙයක්ද,මේක කිය වද්දි මට අපේ ආත්තම්මව මතක් උනා.අපේ තාත්තගෙ අම්මා.මට පුදුම විදියට ආදරෙයි.ආත්තම්මා නෑති උන දවසෙ තමයි මම ජීවිතේ වෑඩිපුරම අඩපු දවස,එතකොට මම හයේ පන්තියෙ හිටියෙ...

ෆා ද බ්ලොගී said...

නියමායි. මගේ හිතෙත් තියෙන්නේ නාකි වෙච්චි දවසක ඔය වගේම කාටත් කරදරයක් නොවී මගේ සීයත් එක්ක පාඩුවේ ජීවත් වෙන්න. හැබැයි ඉතිං මේ රට යන විදියට අවුරුදු 50ක් වත් හිටියොත් ලොකු දෙයක්.

දුකා said...

විවාහය . . . ආදරය . . . සුරක්ෂිතභාවය . . . වයාට යෑම . . දික්කසාදය . . . අනිත් අය ගැන සැලකිලිමත් වීම . . දරුවන් කෙරෙහි ඇති ආදරය . . .තව කොච්චර දේවල් ගැනද . . . ?? අම්මෝ උඹ මේ එක ලිපියෙන් විෂයයන් කීයක් ගැන කතා කලාද . . . නියම ලිපියක් මචං . . . හරිම වටිනවා . . .

මුචලින්ද said...

http://muchalindha.blogspot.com/2009/10/blog-post_15.html

එලනේ....උපරිම ලිපියක් !

~බිன்ku~ said...

දරුවන් තම දෙමව්පියන්ට සැලකීම උතුම් කරණක්, එහි කතා දෙකක් ඕනේ නෑ. ඒත් අවාසනාවට අපේ ඇතැම් අය සලකන්නේ නෑ වගේම සලකනවා කියලා ගෙදරට ගෙනැවිත් නිකං මෙහෙකාරියගේ සාත්තු සේවිකාවගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ ඒ අසරණ වයසක අයටමයි. අනිත් කාරණාව තමා දේපල බෙදීම හා සමාජයට පෙන්න කිරීම. එතැනයි අවුලක් හෝ වෙන්නේ.

මේ රටවල එසේදැයි යන්නත් සම්පුර්ණයෙන්ම සමාජ තත්වයන්ගැනත් එතරම් අත්දැකීම් නැති වුණත් කැනඩාව තුළදී නම් අවුරුදු 60ක අයට තිබෙන පහසුකම් හා සේවා දෙවැනි වෙන්නේ ආබාධිත අයට විතරයි. ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප් සම්පුර්ණයෙන් නොගෙව්වත් පුස්තකාල, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය හා නිවාස (තමාටම කියා එකක්) පහසුකම් නොමිලේ හෝ ඉතාමත්මම අඩු මුදලට දෙනවා. ( http://www.seniors.gc.ca/h.4m.2@.jsp?lang=eng )ඔය Safety Watch ඒක වයසක අයට විශෞෂයෙන්ම හෘද්‍යාබාධක හෝ වෙනත් රෝග තියෙන අයට දෙනවා.

මේ ගැන අපිට කතා කරන්න වෙනවා ගැඹුරෙන්. කොහොම වෙනත් අපේ රටට බුදු දහමින් වගේම ඇතැම් රටවලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඇත්තටම. ඒත් එසේ නොවීමයි තවම අපි මෙහෙම

sugath77 said...

tane karama atta meka gana leyapu ekata godak thx.
sugath

said...

වැඩිහිටියන්ට සලකන එක ගැන මෙහෙ ලොකුවට කතාකලාට අපිට වඩා හොඳට අනික් රටවල් ඒක ක්‍රියාවෙන් කරනවද මන්දා

Prabath said...

පොඩ්ඩක් හිතපන් මචං... අපේ රටේ උපදින දරුවෙක් ලොකුවෙනකල් කොයිතරම් දුක් විදිනවද.. දෙමව්පියෝ ආදරේ කරනව තමයි. ඒත් අපේ රටේ තියෙන්නේ මේ රටවල තියන පහසුකම් වලින් කීයෙන් කීයද, එහෙම බලද්දී මේක අපේ රටට සංසංදනය කරන්න බෑ.

.::පිස්සා::. said...

@ Prabath- මොකද්ද දැන් අපේ රටත් එක්ක, සංසන්දනය කරන්න බැරි? මගේ ලිපියේ හැටියට ????
Please define 'මේක' ...

Dappi Sira said...

අපේ සංස්කෘතිය අනුව,මාපියන් දරු මුනුබුරන් සමග සිටීම බොහොම හොද දෙයක්. හෑබෑයි, නියම සෑලකීමක් ලෑබෙන්නෙ කීයෙන්කී දෙනාටද? හෑබෑයි Prabath කිව්වා වගේ ආර්තික පරතරය නිසා, මේක අපේ රටට සංසංදනය කරන්න බෑ.

මෙහෙ වයසක අයට,සියලු පහසුකම් තිබුනත්, එක ලොකු අඩුවක් තියනවා. ඒ තම දරු මුනුබුරන් දකින්න වෙන්නෙ,අවුරුද්දට කීපසෑරයක් (බොහෝ විට එක සෑරයයී විතරක් නිසා.මට පෙනුන විදිහට (සමහර අයට ) ඒ තනි කම බලපානවා. ඒ අය හරි කෑමතියි, එයාලා එක්ක කතාකරනවට. කතාකරාම, පොඩි උදව්වක් කලාම හරිම ලස්සනට ස්තුති කරනවා. මේඅයගෙ සිරියාව, මටහිතෙන්නෙ ඒ අය සතුටින් සිටින නිසා වෙන්නට ඈති. සමස්තයක් වශයෙන් හෑමොම වයසක අයට ගරු කරනවා, ඒත් ඒ අය බලෙන් වෑඩි සෑලකිලි බලාපොරොත්තු වෙන්නෙ නෑහෑ.
අනික බිංකු කිවාවගේ අවු 60 මේ පහසුකම් ලෑබුනාට, 65 වෙනතෙක් ( දෑන් 70හ් සලකා බලනවාලු ) මේහ අය වෑඩ කරනවා. ඒ ආර්තික ස්තාවරත්වය, මෙකට සහා මේයාලගේ දිර්ඝ ජීවත්විමට බලපානවා ඈති.

.::පිස්සා::. said...

කමෙන්ට්ස් ඔක්කොටම බොහොම ස්තූතියි..

මට තේරෙන්නේ නෑ, කොහෙන්ද ඔයාලා ආර්ථික විශමයතාවය සංසන්දනය කරන්න හැදුවේ කියල මගේ ලිපියෙන්..

මට කියන්න ඕනේ උනේ,

1- මෙහේ වයසට ගියපු උදවිය එකිනෙකාට ආදරෙන් ඉන්නවා.. තරුණකාලේ වගේම අත් අල්ලාගෙන ඇවිදිනවා.. එකට නිදියනවා.. එකිනෙකාගේ ඕනෑ එපාකම් හොයලා බලනවා.. 'ලුනුයි බතුයි කමුකෝ රත්තරන්' කියලා යන උදවියට එහෙම මැරෙන කල්ම ඉන්න බැරි කමක් තියෙනවද අපේ රටෙත්???

2- මෙහේ ගොඩාක් දෙනා ලෝකෙට පේන්න දීග කන්නේ නෑ.. තමුන්ට එපා නම් අයින් වෙනවා.. තමුන්ට ගැලපෙන වෙන කෙනෙක් හොයා ගන්නවා..

3- මෙහේ ආච්චිලා උනත්, මොනවා හරි අලුතින් කරන්න බලනවා.. ලෝකේ ගැන අවධියෙන් ඉන්නවා. දැනුම update කරගන්නවා..

4- වයසක අය, ආරක්ෂාවට අතේ safety watch එකක් බැදන් ඉන්නවා..

එච්චරයි ..

මම පිස්සෙක් නෙව..
මට කියන්න ඕනේ උනේ simple දෙයක්... ඒවා ගැන ඕනෙවට වඩා හිතන්න යන්න එපා...

ලෝකේ ගොඩාක් ප්‍රශ්න වලට ආර්ථික විශමතාවය, භෞමික අඛන්ඩතාවය, වර්ණ භේදය, වගේ ලොකු ලොකු දේවල් පටලවන් කෑ මොර දෙන්න පුලුවනි..
ඒත් මම ඒ වගේ ලොකු දේවල් ගැන නෙමෙයි කිව්වේ..

Dappi Sira said...

හුටා. සමාවෙලා බුරුල් කරගන්නා සෙක්වා.මේකට ආර්ථික පටලෑවීම, වෙච්ච අත්වෑරද්දක්.

Got the picture. Agree with your points.

.::පිස්සා::. said...

හික් හික්.. බුරුල් වෙනවා නම් හොදා... මට තාම මලබද්ධේ නොවැ...

මම කිව්වනේ මුලිනුත්, මේකට සිරා පොරවල් එන්නේ අඩුවෙන් කියලා..
මදැයි; ආපු එකම සිරා පොරත් මගේ ඇගේ ලේ කුපිත කලා නෙව..

හ්ම්... කොහොම උනත්, උඹ ඩප්පි සිරා උනාට, හැම දේම සිරාවට ගන්න එපා මස්සිනා..

Dappi Sira said...

හී, හී, මට අමතක උනා නොවෑ. ඒක (මලබද්ධේ ) තමයි මේ මූලග්ගායට මුල! පුළුවන්නම් දෑන් අහපන් "මූලග්ගාය" කියන්නෙ මොකද්ද කියලා (හී, හී)

ඕකට කියාපු බේත කටු කොහිල තමා පුතෝ!

ස්තුතියි."සිරා" උපදේශයට. මට ඒක ප්‍රයෝජනවත් වේවි.

Anonymous said...

HI.PISSA..
HUGA DAWASAKIN OYAGE BLOGS KIYAWANNA UNE NE.
MOKADA MATA OYATA WADA PISSU HEDUNA NISA.
DAN TIKAK HONDAY...
ACHCHLAGE STORY EKA NAM MARU. ETHTHATAMA
AASA HITENAWA KIYAWANNA.
BALAGENA YANAKOTA APE RATAWALA MINISSU
GAWA THIYENNE MONADA..NEDA..?????
-sanda dew-

මල්ලි said...

ඇත්තටම හොද ලිපියක්
තවත් මේවගේ ලිපි ලියන්න ඔබට ජය!!!

malee_msg said...

අනේ මංදා අපේ රටේ ඇයි අපි මෙච්චර හිර වෙලා කියලා.. මට හිතෙන්නේ අපි හැම අතින්ම හිර වෙලා..!

.::පිස්සා::. said...

@ කැළුම්- මටත් ඒ safety watch එක මුලින්ම දැකපු දවසේ හෙන මැජික්... ඇත්තටම ඒක මරු..

@ ඩප්පි සිරා- ඔයාට කියන්න ඕනේ ඔක්කොම කිව්වනේ..
@ Chrishi- හික් හික්..එහෙම කියන්නත් එපා. මාත් හොද ලංකාවට ආදරේ කරන සිංහලයෙක් නොවැ..

@ LishWish- ළමයි හරියට හැදුවේ නැති උනාම තමයි එහෙම කරන්න වෙන්නේ.. අත පය හතර හොලවන්නේ නැතුව සල්ලී හම්බ කරන්න බෑ.. වයසක අම්මාගේ safety watch එක විකුනලා කන්න දෙනකං බලං ඉන්නේ, ලමයින්ගේ අත පය වලට හෙණ ගහලද?

@ නුවන් & මුචලින්ද- ඔව්, ආත්තම්මලාගේ ආදරේ ගැන කියන්න වචන නෑ.. ඒත් අවාසනාවකට මම පොඩි කාලෙම ආත්තම්මලා 2න්නම නැති වෙලා.. මට පෞද්ගලික අත්දැකීම් නම් නෑ.. ඒත් මට ඒ හැගීම තේරුම් ගන්න පුලුවනි..

@ බ්ලොගී- All the Best නගා.. නාකි උනාම මහත්තයාත් එක්ක ඔයා හිතන ව්දියටම ඉන්න ලැබේවා !!!

@ බිංකු මල්ලී- ඇත්ත අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා,වෙන රටවල් වලින්.අවුල තියෙන්නේ, අපි ගන්නේ වැරදි දේවල්මයි ගොඩාක්ම..

@ ම- අපි ඉතිං කරන ගොඩාක් දේචල් කරන්නේ මූනිච්චාවට නේ..

@ සුගත් & මල්ලී - ස්තූතියි සහෝ !!

@ මලී නගා- ඇත්තටම අපි හිරවෙලා.. ඒත් අපි එලියට යනකල් දන්නේ නෑ, අපි හිරවෙලා හිටියේ කියලා.. ඒකයි අවුල...

.::පිස්සා::. said...

හපොයි මට මේ දෙන්නව මිස් වෙලා නොවැ...
ඒක මේ discrimination හින්දා හෙම නෙමෙයි..

@ දුකා- බොහොම ස්තූතියි සහෝ !!!

@ සදදෙව්- ඇයි තාම ඇනෝනිමස් කමෙන්ට්ස් දාන්නේ.. ඔයාගේ අකවුන්ට් එකින් ලොග් වෙන්නකෝ... කොහොම උනත් ස්තූතියි...

Post a Comment

 

© ප්‍රකාශන අයිතිය පිස්සාගේ ලෝකය . සියලු හිමිකම් ඇවිරිණි.

හැඩකලේ LishWish